ස්වාධීන රූපවාහිනිය විසින් විකාශය කරන  ලද ‘කසල කන්ද’ නම් වූ වැඩසටහනකට පසුගිය දා මම ද සහභාගි වූයෙමි.   එම වැඩසටහනට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් මීතොටමුල්ලට කසළ ප්‍රශ්නය පිලිබදව තමන් විසින් යවන ලද ලිපි වල පිටපත් අඩංගු ලිපිගොනුවක් ද රැගෙන විත් තිබිනි.  ඔහු විසින් ලිපි යොමු කරන ලද පුද්ගලයින් සහ ආයතන ලැයිස්තුව, කසල කන්ද විසින් ඇති කරන ලද ව්‍යසනය පිළිබඳව කෙතරම් විශාල පරාසයකට අයත් පිරිසක් වග කිව යුතුදැයි පෙන්වන සාධකයක් විය.  කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා, බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා, බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරන  අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍ය ධූරය ද දරන ජනාධිපතිවරයා  වෙත ද යොමු කරන ලද ලිපි වල පිටපත් මන්ත්‍රීවරයා ගෙන ආ ලිපිගොනුව තුල තිබිනි.  වැඩසටහනට සහභාගි වූ සාකච්ඡා මඩුල්ල තුල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ද සිටි නමුත්, දුරකතනය ඔස්සේ වැඩසටහන සමග සම්බන්ධ වූ ශ්‍රාවකයින් ගේ දෝෂාරෝපණයෙන් වැඩි කොටසක් එහි සිටි එකම පාර්ළිමේන්තු නියෝජිතයා වූ මරික්කාර් මන්ත්‍රීවරයා වෙත යොමු වීම තරමක අසාධාරණයක් ලෙස මට හැඟිනි.

හොඳ හෝ වේවා නරක හෝ වේවා, දේශපාලකයින් යනු  කවර ප්‍රශ්නයක් හමුවේ වුව ද අප කාගේත් ලෙහෙසිම  ඉලක්කය යි.  එහෙත්, ඉදිරියේ දී, මීතොටමුල්ල ඛේදවාචකයෙන් ඔබබ්ට යෑමට නම් එම මරණ වලට සැබෑවටම දොස් නැගිය යුත්තන් හා දොස් නැගිය යුතු තැන් හදුනා ගත යුතුව ඇත. ඇමති පාඨලී චම්පික රණවක මහතා දොස් කියන්නේ කුණු සනීපාරක්ෂ ලෙස වැළලීමට විරුද්ධ වන ජනතාවටයි. එම ප්‍රකාශය සංශෝදනය විය යුතුයි මම සිතමි. ඇත්තෙන්ම දොස් පැවරිය යුත්තේ “බිම් පිරවුම් එපා -100% ප්‍රතිචක්‍රීකරණය දැන්” යන මෝඩ මතය   සමාජ ගත කරවමින් නිසි කසළ කළමනාකරණය බකල් කළ පරිසර ක්‍රියාකාරිකයන්ට ය.

වගවීමේ අනුපිළිවෙල

අපේ නිවෙස්වල නැතහොත් ආයතන වල ජනනය වන කසළ අපේ පළාත් පාලන ආයතනය වෙත අප භාර දෙන්නේ එහි වගකිවයුත්තන් ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි.  ඊයේ අපේ කුසගින්න නිවූ බත් පාර්සලයේ ඉතිරි කොටස් තවත් කාගේ හෝ පරිසරය ගඳ ගස්වනු ඇති ද එසේත් නැතිනම් කන්දක් බවට පත්වී දිනෙක අහිංසක දරු පවුලක් වෙසෙන නිවෙසක් වෙත කඩා පාත් වෙනු ඇතිදැයි කරදර වීම අපගේ වගකීම නොවේ. අප අපගේ දෛනික කටයුතු වල යෙදෙන අතර, අපේ පළාත් පාලන ආයතනයන්ට අප විසින් ඡන්දය දී  නියෝජිතයින් පත් කර අරින්නේ ඔවුන් විසින් අදාළ  නීති රෙගුලාසි සකස් කර, සේවකයින් පත් කර,  අපේ කසල කළමනාකරනය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත්, පසුගිය අප්‍රේල් 14 වැනි දා අපේ කසල, අපට කිසිම සම්බන්ධයක් නැති ප්‍රදේශයක පිහිටි නිවහන් මත කඩා වැටුනේ ඔවුන් ගේ ඛේදවාචකය නිසා අප තුල ජනිත වූ අතිශය ශෝකයක් හා  අපේ කුණු ඔවුන් මත කඩා වැටුනේ ය යන වරදකාරී හැඟීමක් අප අතර ඇති කරමිනි.

‘අවසාන බැහැර කිරීම’ යන ගැටළුව

අප තුල ශෝකයක් ඇති විය නමුදු අප වරදකාරී හැඟීමෙන් පෙළිය යුතු නොවේයැයි මම සිතමි.  කොළඹ වසන අප විසින්  කසල බැහැර කිරීම පිළිබඳව කොළඹ මහ නගර සභාව විසින් ලබා දෙන උපදෙස් වලට අනුකූලව වැඩ කළ යුතුයි. වරින් වර  මහ නගර සභාව  විසින් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරීම හරහා ‘ජනනය වන ස්ථානයේ දීම කසල වෙන් කිරීමේ’ නැතිනම් ‘source separation’  ව්‍යාපාර පටන් ගන්නා නමුත් මේවා සතියක් දෙකක් යන විට අඩ පනාල වෙයි. කසල වෙන් කිරීමේ දී ජනතාවට ගැටළු ඇති වුවත් බොහෝ දෙනෙක් නගර සභාව ඉල්ලා සිටින විට තමන්ට හැකි පමණින් මේ කටයුත්ත සිදු කරති.  නමුත් සති කිහිපයකට පසුව දක්නට ලැබෙන්නේ අප නිවෙස් වලින් ප්‍රවේශමින් තෝරා වෙන් කර භාර දෙනු ලබන කසල  නගර සභාවේ එකතු කරන සේවකයින් විසින් එක පොදියට එකම රථයකට විසි කරන ආකාරයයි.  එයටහේතුව මෙම ව්‍යාපාර පදනම් වී ඇත්තේ  කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධි තක්සේරුවක් මත නිසාය. සැබෑ සත්‍යය දිමහා පරිමාණයෙන් දිරන කසළ  කොම්පෝස්ට් කිරීම නාගරික පරිසරයක  කල නොහැකි වීමත් අනික් බහුතරයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි තත්වයේ කසළ වීමත්ය. සමාජය දියුණු වීමත් සමග කසළ වල වුවද ප්‍රමිතිය දියුණු වෙයි. නමුත් එතෙක් බලධාරීන් විසින් කල යුත්තේ සනීපාරක්ෂාව කසළ බැහැර කිරීම සඳහා ක්‍රම වේද ඇති කිරීමය.

අප්‍රසන්න ද්‍රව්‍ය තොග වශයෙන් ප්‍රවාහනය කිරීමට සිදුවන අනෙක් ඕනෑම කාර්යාවලික දී මෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරනයේ දී  ද, ආරම්භ කළ යුතු වනුයේ අවසාන කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් සහිතව ය.  අපේ ශරීර වලට අවසාන වශයෙන් ආදාහනාගාර සහ සොහාන් බිම් අවශ්‍ය වන්නා සේම අප විසින් ජනනය කරනු ලබන කසල වලට ද අවසන් සැතපුම් ස්ථානයන් අවශ්‍ය ය.

මගේ අදහස අනුව නම්, මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකයට කොළඹ මහ නගර සභාවට දෝෂාරෝපණය කළ නොහැක.  කොළඹ මහ නගර සභාව තරම් විශාල පළාත් පාලන ආයතනයකට වුව ද, කසල සඳහා අවසාන බැහැර කිරීම් ස්ථානයක් තනිවම ස්ථාපනය කර ගැනීමේ හැකියාවක් නැත.  වගකීම් දැරීමේ අනුපිළිවෙල අනුව, කසල සඳහා අවසාන බැහැර කිරීම් ස්ථානයක් සැපයීම  සහ නියාමන රාමුවක් සැපයයි යුතු වන්නේ පළාත් සහ/හෝ ජාතික අධිකාරීන් විසිනි.  නමුත් පළාත් සහ ජාතික මට්ටමේ වුවද  අපේ දේශපාලනඥයෝ රාජ්‍ය පාලනයේ පවතින ව්‍යුහාත්මක ගැටළු වලින් සිරවී සිටිති.

අපේ රටේ පවතින මැතිවරණ ක්‍රමය විසින්, ප්‍රධාන  දේශපාලන පක්ෂ දෙක සහ කුඩා දේශපාලන පක්ෂ රැසක් අතර බලය බෙදී ගිය ආණ්ඩු  ඇති කරයි.   එහි ප්‍රතිපලයක් ලෙස බිහි කරගනු ලබන දුර්වල සන්ධානයන් ආරක්ෂා කර ගනු වස් දරුවන්ට සීනි බෝල ලබා දෙන්නා වාගේ ඇමති තනතුරු බෙදා දෙනු ලැබේ. මේ නිසා එක්  අමාත්‍යාංශයක් සතුව පැවතීම අත්‍යවශ්‍ය විෂයයන් අමාත්‍යාංශ ගණනාවකට විසිරෙනු බහුලව දක්නට ලැබෙන කරුණකි. ආණ්ඩුව දුර්වල වන විට එහි වාසි ලබා ගන්නේ ආණ්ඩුවෙන් පිට සංවිධානාත්මක කණ්ඩායම් ය.

“බිම් පිරවුම් එපා- 100% ක් ප්‍රතිචක්‍රීයකරණය දැන්” සටන් පාඨ

කසල කළමනාකරනය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් ඒ ඒ කාලයේ  පැවති රජයයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවල දී සංවිධානාත්මක කණ්ඩායම්විසින් ඒවාට බාධා කර ක්‍රියාත්මක කිරීම වලකා ලූ අයුරු අපට මතක තියේ. ″කොළඹ කුණු අපට එපා″ සහ ″බිම් පිරවුම් එපා- 100% ක් ප්‍රතිචක්‍රීයකරණය කරනු″ වැනි සටන් පාඨ 1990 ගණන් වල සිට අසන්නට ලැබිනි.

ඇත්ත වශයෙන්ම, ප්‍රතිචක්‍රීයකරණය ඉතාමත්ම හොඳ ක්‍රමවේදයකි.  පසුගිය 30 වසර පුරාවට පෞද්ගලික මට්ටමින් සහ ප්‍රජා මට්ටමින් 3R නමින් හැඳින්වෙන, අවම කිරීම, නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය (reduce-reuse-recycle) ක්‍රමවේදය, ක්‍රියාත්මක කිරීමට මා විසින් ක්‍රියා කර ඇත. ඒ හැරුණු විට, ඝන අපද්‍රව්‍ය ගැටළුව පිළිබඳව දිගු කාලයක් තිස්සේ මා කළ පර්යේෂණ අනුව බිම් පිරවුම් විකල්පයක් රහිතව ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට හෝ පවත්වා ගෙන යාමට නොහැකි බව මා ඉතා හොඳින් දන්නා කරුණකි.  එහෙත්, අවාසනාවකට මෙන්, අපේ පරිසරවේදීන් තවමත් සිය මනෝරාජ්‍යවල ජීවත් වෙමින් මනෝරාජික සංකල්ප ඉදිරිපත් කරති.

බිම්පිරවුම හා ප්‍රතිචක්‍රීයකරණය සමාන්තරව සිදු විය යුතු ය

ඔබ විසින් අවශ්‍යතාවයන් සඳහා මිල දී ගන්නා ලද ද්‍රව්‍යයන් ගෙන් ඉතිරි වන කොටස් සහ ඔබ විසින් නොඉල්ලා ඔබ වෙත පැමිණෙන ද්‍රව්‍ය යනා දී සියල්ලම (1) ප්‍රතිචක්‍රීයකරණය හෝ (2) බිම්පිරවුම යන දෙයාකාරයෙන් එකකින් අවසන් වේ.

ප්‍රතිචක්‍රීයකරණයේ ද විකල්ප දෙකක් ඇත. පළමුව  අපද්‍රව්‍ය ඒවායේ  මූලික ස්වරූපයේ රසායනික සංයුතියට බොහෝ දුරට සමාන සංයුතියකින් යුතු ද්‍රව්‍ය බවට හැරවිය හැක. මෙය කල හැකි වන්නේ යම් ගුණාත්මක තත්වයක ඇති  ප්ලාස්ටික්, කඩදාසි, වීදුර ලෝහ වැනි අපද්‍රව්‍ය සඳහා පමණි.  දෙවැනුව, අප ද්‍රව්‍ය ඒවායේ මූලික ස්වරූපයෙන් භෞතිකව මෙන්ම රසායනිකව ද බොහෝසෙයින් වෙනස් වන ද්‍රව්‍ය බවට පත් කිරීමයි. මෙහිදී ආහාර අප ද්‍රව්‍ය  ඇතුළු වෙනත් ජීව අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර හෝ  ජීව වායු බවට පත් කළ හැක.  නැතිනම් වීදුරු, වලන් පිඟන් හා කොන්ක්‍රීට් වැනි ද්‍රව්‍ය හැරුණු කොට අන් සියලු අප ද්‍රව්‍ය දහනය කිරීමෙන්  බලශක්තිය බවට පරිවර්තනය කළ හැක.

මේ කොයි  ආකාරයකින් ප්‍රතිචක්‍රීයකරණය කලත් සෑම විටම ප්‍රතිචක්‍රීකරණය  කළ නොහැකි ද්‍රව්‍ය මෙන්ම ප්‍රතිචක්‍රීකරණය  ක්‍රියාවලියෙන්ම  ඇතිවන අළු වැනි දේ බැහැර කිරීම නොකරම බැරිය. එම අප ද්‍රව්‍ය බැහැර කළ යුත්තේ  සනීපාරක්ෂක බිම් පිරවුම් ලෙස හඳුන්වන ස්ථාන වලය.   සමහර පරිසරවේදීන් විසින් දක්වනු ලබන උද්වේගකර ප්‍රතිචාර කෙසේවෙතත්, නැවත භාවිත කිරීමට හෝ ප්‍රතිචක්‍රීයකරණය කිරීමට නොහැකි අපද්‍රව්‍ය ජනනය යනු  මානව වර්ගයා ගේ පැවැත්ම හා බැදී පවතින සංසිද්ධියකි.  ඓතිහාසික ශිෂ්ඨචාරයන් පිලිබඳ කැනීම් වලදී අපට දකින්නට ලැබෙන  බිඳුනු පිඟන් හෝ වෙනත් මැටි භාණ්ඩ ඊට හොඳ උදාහරණයකි.

ඝන අපද්‍රව්‍ය කළමනාකරනයේ විශිෂ්ඨතමයා ලෙස  හැදින්වෙන  ස්වීඩන රටේ නිවෙස් වලින් බැහැර ලන අපද්‍රව්‍ය වලින් සියයට 99 ක් ම ප්‍රතිචක්‍රීයකරණය කරයි.  එහෙත්, ස්වීඩනය මේ තත්වය සාක්ෂාත් කර ගත්තේ එක රැයකින් නොවේ.  2000 වර්ෂය වන විට ද ස්වීඩනය සිය ඝන අපද්‍රව්‍ය වලින් සියයට 30 ක් ම බිම් පිරවුම් වෙත බැහැර කරමින් සිටියේ ය. ඔවුන් ඊට වඩා ප්‍රතිශතයක් බිම් පිරවුම් වලට පිර වූ කාලය පිළිබඳව දත්ත අප සතුව නැතත් අමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වත්මන් තත්වය  දෙස බැලීමෙන් ඒ පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකි වනු ඇත.

එක්සත් ජනපදයේ පරිසරය ආරක්ෂණ ආයතනයේ දත්ත අනුව, 2014 වර්ෂයේ දී එරට පළාත් පාලන ආයතන විසින් එකතු කරන ලද අපද්‍රව්‍ය වලින් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කොටස සියයට 35 කි.  2015 වර්ෂයේ දී එක්සත් රාජධානියේ මෙම අගය සියයට 44 කි.  තත්වය මෙසේ පවතිද්දී, අපේ දේශීය පරිසරවේදියෝ 1990 ගණන් වල සිට අද දක්වාම අප රටේ කසල සියයට සීයක් මැ  ප්‍රතිචක්‍රීයකරණය කළ යුතු යැයි උද්ඝෝෂණය කරති.

පරිසර ක්‍රියාකාරීන් මෙතෙක් ගිය නොමග නැවත නොයමු

පැය ගණනාවක් තිස්සේ මහා මාර්ගයේ රථ වාහන තද බද ඇති කරමින් ′උසස් අධ්‍යාපනය සියල්ලන්ටම සියයට සියයක් ම නොමිළයේ ලබා දිය යුතු බවට සහ ඒ අතරතුර පෞද්ගලික විකල්ප කිසිවක් නොදිය යුතු බවට′ විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණය කරන අතර එය සාධාරණ ඉල්ලීමකැයි සිතන බොහෝ දෙනෙක් අපේ රටේ සිටිති.  ඒ ආකාරයටම, අපද්‍රව්‍ය සියයට සීයක්ම ප්‍රතිචක්‍රීයකරණය කළ යුතුය යන දුර්මතය ද සමාජ ගත කිරීමට නොමග ගිය පරිසර ක්‍රියාකාරිකයින් සමත්ව ඇත.  මේ ආකාරයේ නොමග ගිය පරිසර ක්‍රියාකාරකම් ආරම්භ වූයේ පසුගිය සියවසේ දී පාදුක්කේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද සනීපාරක්ෂක බිම් පිරවුමක් කඩාකප්පල් කළ අවස්ථාවාදී ක්‍රියාවක් සමගිනි.

2003 වර්ෂයේ නිකුත් කළ සිය වාර්තාව තුල, විගණකාධිපතිවරයා, කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරනය පිළිබඳව මෙසේ වාර්තා කර තිබිනි.

˝මීපේ, අළුපොත වත්තේ පාරිසරික බිම් පිරවුමක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 1992 වර්ෂයේ දී කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට අත්සන් තබන ලද නමුත් මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබින.  ව්‍යාපෘතියේ කටයුතු සඳහා වැය කරන ලද මුදල් පිළිබඳ විස්තර, විගණනය සඳහා ඉදිරිපත් කර නැත.  ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප බිමක් පිළිබඳව සලකා බලා නොමැති අතර ඒ සඳහා ලැබුනු අරමුදල් ආපසු යවා ඇත˝.

මේ බිම් පිරවුම් නාටකයේ එක් රංගන ශිල්පියකු වූ, පාරිසරික සාධාරණය සඳහා වන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, එම ආයතනයේ වෙබ් අඩවිය තුල 2009 ජනවාරි 14 වන දින ප්‍රකාශයට පත් කර ඇති ලිපියක මෙසේ පාපොච්චාරණයක යෙදෙයි.

අපද්‍රව්‍ය පිළිබඳ වාද විවාද උච්චස්ථානයේ පැවති අවස්ථාවක යෝජනා කරන ලද සනීපාරක්ෂක බිම් පිරවුම මහජන විරෝධය නිසා අත්හිටවන ලදී.  රාගම ප්‍රදේශය සඳහා සැලසුම් කර තිබූ ව්‍යාපෘතිය පසුව මීපේ අළුපොත වෙත ගෙන යන ලදී.  එකතු කිරීම් මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවා එකතු වන කසල සනීපාරක්ෂක බිම් පිරවුම වෙත ගෙන ඒමට යෝජනා කර තිබිනි.  බිම් පිරවුමක් සඳහා හොඳම ස්ථානය සහ හොඳම අපද්‍රව්‍ය කළමනාකරන යාන්ත්‍රණය වැනි කරුණු තීරණය කර ගැනීම සඳහා ආරම්භ වූ මේ විද්‍යාත්මක සහ පාරිසරික විවාදය, ප්‍රදේශයේ දේශපාලකයින් ගේ දේශපාලන ක්‍රීඩාවක් බවට පරිවර්තනය විය. ″කොළඹ කුණු අපට එපා″ යන සටන් පාඨය මේ දේශපාලන ක්‍රීඩාව තුල බිහි වූවකි.  එය, හොඳම විසඳුමයැයි පැවසිය නොහැකි වුව ද එකී බිම් පිරවුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මෙහි දී සිදු වූ විශාලතම වරද බව පැවසිය යුතු ය.  මා ද මේ විවාදයේ එක් කොටස්කරුවකු සිටීම පිළිබඳව මම ලැජ්ජාවට පත් වෙමි.

එහෙත්, එතැන් සිට තවත් අට වසරක් ගත වූ තැන, මේ හේමන්ත විතානගේ ම, තමන් 2009 දී ලැජ්ජාවට පත් ව සිදු කළ පාපොච්චාරණය අමතක කොට, පුත්තලම සඳහා යෝජනා කරන ලද සනීපාරක්ෂක බිම් පිරවුම පිළිබඳව පැරණි සාවද්‍ය තර්කයම නැවත ගෙන හැර දක්වයි.

″මෙම ව්‍යාපෘතිය අපරාධයක් බව සහ ඒ සඳහා දරනු ලබන පිරිවැයට නොවටිනා එකක් බව පාරිසරක සාධාරණය සඳහා වන මධ්‍යස්ථානයේ හේමන්ත විතානගේ පවසයි.  ඔහු තවදුරටත් පවසන්නේ  ′විසඳුම වන්නේ කසල බිම් පිරවුම් වලට දැමීම නොව එහි මූලික හේතුවට විසඳුමක් ලබා දීමයි. සීයයට සීයක ප්‍රතිචක්‍රීයකරණ මොඩලයක් ප්‍රවර්ධනය කළ යුතුයි.  තිරසාර විසඳුමක් වනු ඇත්තේ එයයි.  සමහරවිට, පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගත යුතු වන්නට ඉඩ ඇතත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිපල ලබා දෙනු ඇත′ යනුවෙනි.  කසල ජනනය අවම කිරීම සඳහා ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ද විතානගේ මහතා පවසයි.

ආචාර්ය අජන්තා පෙරේරා, මේ විරෝධතා ව්‍යාපාරයේ තවත් කැපී පෙනුනු චරිතයකි.  ඇගේ විශේෂ අවධානය යොමු වී තිබුනේ, ඝන අපද්‍රව්‍ය හසුරුවන කම්කරුවන් ගේ ගැටළුව සහ ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් අප අපතේ යවන සම්පත් කෙරෙහි ය.  අවාසනාවකට මෙන් ඇගේ විසඳුම් විද්‍යාත්මක සාක්ෂි හෝ මහා පරිමාණ ඝන අපද්‍රව්‍ය කළමනාකරනය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් වලින් තොරව ඉදිරිපත් කරන ලද විශ්වාසයන් පමණකි.  දොම්පේ බිම් පිරවුමක් සම්බන්ධයෙන් 2000 වසරේ දී ආචාර්ය පෙරේරා විසින් දක්වන ලද අදහස් පහත දැක්වේ.

රුපියල් මිලියන 600 ක වියදමින් දොම්පේ පිහිටුවීමට නියමිත කසල බැහැර කිරීමේ ව්‍යාපෘතිය පිලිබඳව, පිළිසරු ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශිකාවක් වන ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ එම ව්‍යාපෘතිය නිසා  සිදුවනු ඇත්තේ දැනට රටේ පවතින කසල පිළිබඳ ගැටළු වලට තවත් අමතර ගැටළු එකතු කිරීම පමණක් බවයි.  වෙනත් නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත්, අධිකාරීන් තවමත්, යෝග්‍ය නොවන ක්‍රමවේද මත රැඳෙමින් කටයුතු කරන බව ඇය පවසයි……. කසල ගැටළුවට එකම විසඳුම ඒවා කොම්පෝස්ට් බවට පත් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය පමණක් බව තමා විශ්වාස කරන බව ද ඇය තවදුරටත් පවසයි.

ප්‍රායෝගික නායකත්වයක් තුලින් ඉදිරියට

වාසනාවකට, මේ අන්තවාදී උපදේශකයින් ගේ විශ්වසනීයත්වය ක්‍රමයෙන් පිරිහීමට ගොස් මේ වන විට දොම්පේ බිම් පිරවුමක් පිහිටුවා ඇති අතර එහි  බිම් පිරවුම  සඳහා සුදුසු තත්වයට කසල ′සූදානම්′ කර යැවිය හැක.  අනෙක් අතට, ඝන අපද්‍රව්‍ය කළමනාකරන ක්ෂේත්‍රයේ   සිය හැකියාවන් ඔප්පු කර පෙන්වා ඇති ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් ප්‍රේමතිලක වැනි පුද්ගලයින් මෙගපොලිස්  අමාත්‍යාංශය විසින් බඳවා ගන්නා බවක් ද පෙනෙන්නට තිබේ. ප්‍රේමතිලක මහතා  දිගු කාලයක් තිස්සේ ආදර්ශමත් ඝන අපද්‍රව්‍ය කළමනාකරයක් සිදුකරන බලන්ගොඩ නගර සභාවේ එම කටයුතු  වල දී විශාල කාර්යභාරයක් ඉටු කළ නිලධාරියකු බවට පොදු පිළිගැනීමක් ඇත.

ඇත්තෙන්ම මෙගාපොලිස් අමාත්‍යාංශයට  මේ අවස්ථාවේ බස්නාහිර පළාතේ කසළ කළමනාකරණය පිළිබඳව ඉතා වැදගත් මෙහෙවරක් කල හැක.. ඔවුනගේ මෙන්ම ඔබගේ ද වගකීම පිළබඳව වෙනත් ලිපියකින්.

Advertisements