Weerakon, S (2016). දශක හතරක අත්දැකීම් වලින් බිඳක්. Proceedings of the Special Session on Present Status and the Way Forward for Public Universities in Sri Lanka. Ed. Weerakon, S and Perera, S.M., International Industrial Mathematics Conference, Rattanapitiya, Sri Lanka (p.). Colombo: Vidya Publishers.

පසු ගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෙස විශ්‍රාම ගිය ගණිත මහාචාර්ය සුන්ත්රා වීරකෝන්සා මහත්මියගේ දශක හතරක අත්දැකීම් වලින් බිඳක් ලිපියේ සාරාංශය.

පුළුල් ලෙස ව්‍යාප්තව ඇති සංස්ථාගත දූෂණය සහ සංස්කෘතික පරිහාණිය මගින් ශ්‍රී ලාංකික රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට බරපතල හානි සිදුව ඇත. මෙම ලිපිය මගින් දූෂිත පැවැත්ම කොතෙක් දුරදිග ගොස් ඇත් දැයි පහදාලීමට නිශ්චිත නිදසුන් සපයන අතරම, ඉන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගද යෝජනා කරමි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ගණිතය පිළිබඳ ආචාර්යවරියක වශයෙන් මා ගතකළ දීර්ඝ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් මත පිහිටා මෙම විශ්ලේෂණයේ යෙදුනෙමි. දූෂණය, බලය යුතු ලෙස යොදා ගැනීම, අගතිගාමී හිතවත්-සංග්‍රහය, අන්තගාමී දේශපාලන මතවාද, ආත්මාර්ථකාමී උන්නතිකාමය, රහස්‍ය එකඟතා, බියවැද්දීමෙන් නතුකර ගැනීම සහ  අදක්ෂභාවය මත පදනම් වූ අතපසුවීම් පිළිබඳ මෙහි සවිස්තරව සඳහන් කොට ඇත. අසාමාන්‍ය ලෙස ගෞරවනීය සහ ප්‍රශංසනීය අවස්ථා කොතෙකුත් පැවතියද, මෙම විශ්ලේෂණයෙහි පැහැදිලි නිගමනය වන්නේ දූෂණය හේතුකොටගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය උග්‍ර පරිහාණියකට ලක්ව ඇති බැවින් එමඟින් අපේ ශිෂ්‍යයන් හා සමස්තයක් වශයෙන් මුළු රටම දුබල කොට ඇති බවය. රහස්‍ය එකඟතා සහ අදක්ෂභාවය හේතුකොටගෙන පද්ධතිය තුළ පවතින අධීක්ෂණ ක්‍රියාවලියන් පරිහාණියට පත්ව ඇති බැවින්, අද වනවිට අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත්කරලීමට ඍජු රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යය.

මගේ විශ්ලේෂණයේදී, සිසුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, පීඨ සහ විශ්වවිද්‍යාල කළමනාකරණය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කැපීපෙනෙන අඩුපාඩු ඇතුළු පරිපාලනයේ දුර්වලතා යන සිව් තලය සැලකිල්ලට භාජනය කොට ඇත. බහුතරයක්  ජයවර්ධනපුර සරසවිය තුළම සිදු වූ නානාවිධ සිදුවීම් මත පදනම්ව මෙම විශ්ලේෂණයෙහි  යෙදුණු අතර, අතිරේක ඇමුණුම් ගණනාවක් මගින් ඊට සාක්ෂි සපයා ඇත. එබැවින්, මගේ ලිපිය සහ ඇමුණුම්, ජ’පුර ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිහාණිය පැහැදිළිව ඉස්මතු කොට පෙන්වන සාධක ගෙනහැර පෑවද, එමගින් ශ්‍රී ලාංකික සරසවි දිවිය තුළ ව්‍යාප්තව පවතින දුර්වලතා පිළිඹිබු වන බව  අනුමාන කිරීම යුක්ති සහගතය.

සිසු පරපුර සලකන විට, අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල මුහුණ දෙන ප්‍රබලම ගැටලුව ලෙස ඉස්මතුව පෙනෙන්නේ, බොහෝ අවස්ථාවල තර්ජනයෙන්, කණ්ඩායම් එක්ව උසුළු-විසුළු කිරීමෙන්, ප්‍රචණ්ඩත්වයෙන් අඩම්තේට්ටම් කිරීම දක්වා දිවෙන, බහුලව පවතින නවක වදයයි. නවක වදය සහ අන්තගාමී දේශපාලනය අතර දැඩි සම්බන්ධතාවයක්ද පවතී. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු අන්තගාමී මතවාදවලට අනුකූලතාවක් දක්වන  ජ’පුර අධ්‍යයන කාර්ය මණ්ඩලය නිහඬව නවකවදය අනුමත කරනු පමණක් නොව, තම තනතුරුවල පැවැත්ම තහවුරු කරගැනීම සහ සිය අන්තගාමී අදහස් සරසවි දිවිය තුළ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවියක් වශයෙන්ද ඊට එකඟතාවය දක්වන බව විද්‍යමානය. දේශපාලන සම්බන්ධතා සහිත නවක වදය සහ ප්‍රචණ්ඩත්වය ජ’පුර සරසවිය තුළ වැඩිවීම සමඟ අධ්‍යයන  කටයුතු වල පිරිහීම සහ ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුතු අඩාලවීම අතර සම්බන්ධතාවයක් පවතී. මේ සියලු  ගැටලු සවිස්තරව ඉදිරිපත්කොට ඒවාට විසඳුම්ද මෙම ලිපියෙහි නිර්දේශ කළෙමි.

වෘත්තියට නොගැලපෙන ලෙස, තම රුචි-අරුචිකම් අනුව ක්‍රියා කරන පීඨ නායකත්වය නිසා සිදුව ඇති  අධ්‍යනාංශ අතර පවතින සිසු:ගුරු අනුපාතයේ දැඩි අසමතුලිතතාව, අත්‍යවශ්‍ය බඳවා ගැනීම්වලට පවා ඉඩනොදෙන ඔවුන්ගේ අනවශ්‍ය මැදිහත්වීම්, නායකත්වයේ දේශපාලන දර්ශනයට එකඟවන, ඔවුන්ගේ සිත්ගන්නා අයුරින් හැසිරෙන සහ ඔවුනට ආවඩන පුද්ගලයන් අධ්‍යයනාංශ මතට බලෙන් පැටවීම හේතුවෙන් සිදුවන අධ්‍යයන මට්ටමෙහි පරිහාණිය ආදී හේතු නිසා අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩලයට අතොරක් නැති නානාවිධ හිරිහැර වලට මුහුණ දීමට සිදුව ඇත. මේ අතර ආචාර්යවරුන් ප්‍රමාණය ඉක්මවා බාහිර කටයුතුවල යෙදෙමින් නිරන්තරයෙන් විශ්වවිද්‍යාලයට නොපැමිණීම සහ දුර්වල ලෙස සිදුකෙරෙන ඉගැන්වීමේ සහ ඇගයීමේ කටයුතුද සිසුන්ගේ පිරිහීමට හේතුකාරකව ඇත. බලවත්ම ගැටලුව වී ඇත්තේ,  මේ දක්වාත් ස්ථීර ආචාර්ය මණ්ඩලයේ බහුතරය වන අවංකව වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන ආචාර්යවරුන්, පළිගැනීම් වලට ලක් වෙතියි  බියෙන් දූෂණ සහ දුර්වල කළමණාකරණය පිළිබඳව නිහඬව මුනිවත රැකීමයි.

උපකුලපති සහ පීඨාධිපතිවරු ඇතුළු විශ්වවිද්‍යාලයේ ඉහළම කළමණාකරණය, දූෂණය විශ්වවිද්‍යාල පද්ධතියෙන් මුලිනුපුටා දැමීමට වෑයම් කළයුතු වුවද අවාසනාවකට සිදුවෙමින් පවතින්නේ ඒවාට ඉඩ හැරීම, රහස්‍ය එකඟතා, දූෂිත කටයුතුවලට පෙළඹවීම ඔවුන’තින්ම සිදුවීමයි. මේ සඳහා නිදසුන් ලෙස,  මගේම පීඨයේ අධිපතිවරයාගේ බලය අයුතු ලෙස යෙදීම්, බාධා පැමිණවීම් සහ රහස්‍ය එකඟතා ගණනාවක් මවිසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.  මේවා ජ’පුරට සීමා වුවද,  මෙවැනි සිදුවීම් අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වුවද සිදුවිය හැකිය. අවසාන වශයෙන් මා ඉදිරිපත්කොට ඇත්තේ ප්‍රතිපාදන කොමිසමෙහි ලේකම්වරයාගේ නුසුදුසු බව සහ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියාකරන, තමන්ගේ කූට න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලවත් අය ඔහු සමග දුස්සන්ධානගතව කටයුතු කරන ආකාරයයි.

එබැවින් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල දූෂණ, නොහැකියාව සහ  විශ්වවිද්‍යාල සංස්කෘතිය සිසාරා තල ගණනාවක සිදුවන පිරිහීම යන ගැට සහිත ජාලයෙහි පැටලී ඇත. සාකච්ඡාවට භාජනය කරන එක් එක් තලයේ දූෂණ සඳහා විශ්වවිද්‍යාලය තුළ සහ මූලෝපායික ලෙස ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂ සහ ප්‍රායෝගික වූ ප්‍රතිපත්තිමය විසඳුම් ගණනාවක් මවිසින් යෝජනා කරනු ලැබ ඇත. කෙසේවතුදු, ඉතාමත් වැදගත් අවශ්‍යතාව වන්නේ රජය ඍජුව මැදිහත් වී, ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත පද්ධතියෙන් මුළුමනින්ම පරිබාහිර වූ සාමාජිකයන්ගෙන් සමන්විත කොමිසමක් පත් කිරීමය. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල, දේශපාලන බලපෑම් වලට නතුවන, අනර්ථකාරී කළමණාකරණයෙන් යුතු, නොහොබිනා බලය තහවුරු කරගැනීම් සහිත දූෂිත ආයතන බවට පිරිහෙමින් පවතී. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් දූෂණය සහ දූෂිතයන් ඉවත්කොට, වෘත්තීමය ගරුත්වය රැකෙන, සදාචාරවත්, මනා කළමනාකාරිත්වයකින් යුතු, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය හේතුවෙන් අන්තර්ජාතික කීර්තියට පත්වන, අපේ අභිමානවත් ජාතියට හිමි වියයුතු නියම උසස් අධ්‍යාපන ආයතන බවට නැවත පත්කිරීමට කාලය එළඹ ඇත.

Advertisements