මේ ලිපියට ප්‍රවිෂ්ඨය පසු ගිය අප්‍රියෙල් 3 වැනි දින රාවය  පත්‍රයේ  ආචාර්ය නිර්මාල් දේවසිරි විසින් මාගේ ඊට කලින් සතියේ පලවූ  ”රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය” යන ලිපියට දැක් වූ “යන්නේ කොහෙද මල්ලේ පොල්” ප්‍රතිචාරයයි.  එම ප්‍රතිචාරය ‘රාජ්‍ය විශ්ව විද්‍යාල වලට බැරි ප්‍රමිතිය පුද්ගලික විශ්ව විද්‍යාල ලබා දෙන්නේ කෙසේද’ යනුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රශ්නය සඳහා  අනිකා අනවශ්‍ය ලෙස ඈදා ගත් එකකි. ඔහුගේ එම ප්‍රශ්නය පිටුපස ඇති උපකල්පනය වන්නේ පුද්ගලික ආයතන යනු අධ්‍යාපනයට මුදලක් ලබා ගත් පමණින්ම ප්‍රමිතයක් ලබා දිය නොහැකි ආයතන බවයි. ඒවාට පැවැත්මක් තිබීම වැරදි බවයි.

මා  පෙර මෙන් මේ ලිපියෙන් ද තර්ක කරන්නේ (1)තමන් විසින් සමාජයටබාර කරන උපාධිධාරීන් පිලිබඳ ව වග වීමකින් තොරව කටයුතු කරන රාජ්‍ය ආයතනයන වල ආචාර්ය වරුන් විසින්එසේ අනිකා ගැන තීරණය කිරීම සදාචාරාත්මක නොවන බව මෙන්ම  (2) උසස් අධ්‍යපනයේ සැබෑ අසමානතාව යනු රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ප්‍රවේශය අහිමි වීම නොව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් වගවීමකින් තොරව ලබා දෙන අධ්‍යාපනය බව හා  ඒ වෙනුවට  වෙනත් විකල්ප සොයා යෑමට අවකාශයක් නැතිවීම බව ය.

2014 වර්ෂයේ තරුණ කටයුතු අමාත්‍යාංශය හා තරුණ සේවා සභාව එකතුව පල කරන ලද ‘තරුණයන් හා සංවර්ධනය යන වාර්තාව’ ට අනුව වයස 20-24 අතර වයස් කාණ්ඩයේ මිලියන 1.5 ක් වූ තරුණ තරුණියන්ගෙන් 4% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදෙති. තවත් 3% ක් ර‍ජයේ වෘත්තීය පුහුණු ආයතන වල පුහුණුව ලබති. තවත් 7% ක් වෙනත් ආයතන වල වැඩි දුර අධ්‍යාපනයේ  යෙදෙති.  එම නිසා ඉතිරි 86% විධිමත්  පුහුණුවක් නොලබන කණ්ඩායම ලෙස හැදින්විය හැක. මේබහුතරය පිළිබඳව යම්  තරමක හෝවග කීමක් ගන්නේ ජාතික තරුණ සේවා සභාවයි.

 

 

 

 

 

විශ්ව විද්‍යාල වල සිසුන් හා ආචාර්ය වරුන්ට අනුව රටේ තරුණ තරුණයන්ගේ 7% ක් තම  වියදමෙන් අධ්‍යාපනය ලබමින් රජයේ බර 7% කින් අඩු කිරීම වරදකි. ඇරත් ඉතිරි 86% න් යම් කොටසකට තව දුරටත් අධ්‍යාපනය හෝ පුහුණුව ව ලබා දීමට රජය විය පැහැදම් කරන්නේ නම් ඒ සඳහා  රාජ්‍යආයතන වඩා  සුදුසු බව ඒ ආයතන වල සිටින අයම නිගමනය කරති. එය කොතරම් සදාචාරත්මකද? අධ්‍යාපන අවස්ථා වවුචර් වැනි උසස් අධ්‍යාපනය සදහා යෙදිය හැකි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් පිලිබඳ ව අප සාකච්ඡා කල යුතු නේද?

රාජ්‍ය විශ්ව විද්‍යාල අතරමැදියා වී කරන අධ්‍යාපනවෙළදාම

ආචාර්ය දේවසිරියන්ගේ ප්‍රස්තූතය අධ්‍යාපනයහුවමාරු භාණ්ඩයක්විය නොයුතු බවය. රජය මැදිහත්ව ලබා දෙන අධ්‍යාපනය  එසේ නොවන බව එහි අප්‍රකාශිත උප ප්‍රස්තූතයයි. නමුත් මම කියා සිටින්නේ රජයේ අධිකාරය යටතේ පවත්වා ගෙන යන අධ්‍යාපනය යන්නද එක්තරා විධියක  භාණ්ඩ හුවමාරුවක් හෙවත් වෙළදාමක්  බවයි.

අවසන් විග්‍රහයේ දී රාජ්‍ය අධ්‍යාපන ආයතන මගින් සිදු කරන්නේ  ජනතාවගෙන් බදු මුදල් අය කරගෙන හිලව්වුට  බාල උපාධි නමැති  භාණ්ඩය හුවමාරු කිරීමේ කාර්යයේ දී අකාර්යක්ෂම මෙන්ම බොහෝ විට අසාර්ථක අතරමැදියන් ලෙස ක්‍රියා කිරීමය. අනුරුධ ප්‍රදීප් මහතාගේ ගේ “පුද්ගලික අධ්‍යාපන විලාසිතා” පොත මා කියා වූවාදැයි ද ආචාර්ය දේවසිරියන්ගේ මගෙන් අසා ඇත. මා එම තරුණ ආචාර්ය වරයාගේ පශ්චාත් උපාධි අඩු පාඩුව මගේ ලිපිය සඳහා උදාහරණයක් ලෙස ගැනීම ද්වේශ සහගත නොවේ ද අසයි. ඇත්තටම තම ලිපි වලින් මෙන්ම පොතෙන් ද කලණසූරියන් විසින් කියා සිටිනුයේ  විශ්ව විද්‍යාල වල ප්‍රමිතියේ ප්‍රශ්න වලට මුල එම එම අධ්‍යාපනයේ  අඩු පාඩු නොව කලාපීඨ වලට එන සිසුන්ගේ අඩු පාඩු බවත්, මුදලක් ගෙවා අමතර සිසුන් ගෙන්වා ගනිමින් කලා පාඨමාලා වල  ප්‍රමිතිය දියුණු කල හැකි බවත් ය. තමන් ඇතුළු රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන් හා ඔවුන්ගේ ඉගැන්වීම පිළිබඳ අධි තක්සේරුවක සිට කරන  එම අසාධාරණ යෝජනාව විවේචනය  කිරීම සඳහා එම  යෝජනාව කරන්නාම  උදාහරණයකට ගැනීම සාධාරණය යයි මම සිතමි.

කලණසූරියන්ගේ පොතට විචාරයක් ලෙසටතව යමක් එකතු කරනවා නම්, උසස් අධ්‍යාපනය වැනි විෂයක් සාකච්ඡා කිරීමේ දී යොදා ගත යුතු ආර්ථික හෝරාජ්‍ය කළමනාකරණ සංකල්ප හා  මෙවලම් පිළිබඳව කතුවරයා සැලකිල්ලක් යොමු කර නැත.  දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි උගැන්විය යුතු ආකාරය ගැන උපදෙස් දී ඇත්තේ එම විෂයට අදාළ පුළුල් දැනුම් සම්භාරය පිළිබඳ විශ්ලේෂණයකින් තොරවය. “භෞතික පහසුකම් සහිත නව පාසල්  ප්‍රමාණවත් සංඛ්‍යාවක් ක්‍රමක්‍රමයෙන් ඇති කිරීම (පි. 51); ගුණාත්මක භාවය හා ජාතික අවශ්‍යතාවන් සැපිරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ලක් කිරීම (පි. 226); ඉංග්‍රීසි දැනුමවැඩි කිරීම සඳහාතීරණාත්මකව හා අධිෂ්ඨානශීලීව මැදිහත් වීම(274)” යනුවෙන් අදහස් ඉදිරි පත්කර ඇතත්  ඒවා සාක්ෂාත් කර ගැනීමට  ප්‍රතිපත්තිමය පියවරවල් ඉදිරිපත් කර නැත.

සමහරුනට තීරණාත්මකව හා අධිෂ්ඨානශීලීව  මැදිහත් විය හැකි අවංක අතරමැදියන් එනතුරැ බලා  සිටිය හැක. එය ජීවිතයේ අරමුණ කර ගත හැක. නමුත් බහුතරය සඳහා යථාර්තය එයට හරස් වේ.

 මවකගේ කතාව

මා දන්නා  ගෘහ සේවිකාවක් නොපැකිලව මසකට රුපියල් 3500ක් වැනි ඇයටදැරිය නොහැකි මුදලක් 10වන  වන වසරේ ඉගෙන ගන්නාතම පුතාගේ අමතර පන්ති වලට මාසිකව වියදම කරන්නේ සාමාන්‍ය පෙල විභාගයට තව ඇත්තේ  සීමිත කාලයක් නිසාය.වැඩිමල් පුතුන් දෙදනාම සාමාන්‍ය පෙළ අසමත්ව සුළු රැකියා ලෝකයට පිවිසුනහ. ලගම පාසල හොඳම පාසැල වෙන තෙක්මවට තව දුරටත් බලාසිටිය නොහැක. අවුරුදු දෙක ඇතුලත දරුවා ගොඩදාගැනීම අගේ එකම  අභිලාෂයි. දක්ෂ ටියුෂන් ගුරුවරයා ඇයට දෙවියෙකි. වෙනත් කෙනෙකුට කඩ කාරයෙකි.

නාවුක ක්ෂේත්‍රයේ සීමන් (Seaman)රැකියා ගැන ඇයට හා දරුවාට උනන්දුවක් ඇත. ඕෂන් යුනිවර්සිටි  යන උජාරු නම ඇතිව පනතක බලයෙන් පිහිටු වන ලද ආයතයනයෙන් නොමිලේම වාගේ සීමන් (Seaman) සහතිකයක් සඳහා පුහුණු විය හැකිබව මම දනිමි. නමුත් රැකියා ක්ෂේත්‍ර  35 කට අධික ගණනක් පිළිබඳ විමර්ශනයක අත් දැකීම් ඇතිව මෙගෙන් ඈ උපදෙස් ඉල්ලුවොත් මා පවසන්නේ  “දරුවා ආණ්ඩුවේ දන්සල් වල කාලකන්නි කරන්න එපා. කොහොමහරි මාලඹේ සිනෙක් එකෙන් මුල් සහතිකය ගන්න. උපාධියක් දක්වා වුනත් ඉතිරි ටික ළමයාම වැඩකරන ගමන් කරගනියි.”එම මවට හා මට සිනෙක් යනු අකාර්යක්ෂම මෙන්ම ගුණාත්මක  බවින් තොර රාජ්‍ය  ඒකාධිකාරයකට විකල්පයකි. වෙනත් අයකුට එය පුද්ගලික වූ පමනින්මහොර යැයි හංවඩු ගැහෙනඋපාධි කඩයකි.

එම මව හෝ තවත් එවැනි දෙමාපියන් වෙනුවෙන් විශ්ව විද්‍යල වල ශිෂ්‍යයන් හා ආචාර්ය වරුන් විසින් කල යුත්තේ තම පාඨ මාලා හොඳද නැද්ද තීරණය කිරීම එම දෙමාපියනට ම බාරදීමය.. රජයේ ආයතන වලට ඉදිරියට  වැඩි කිරීමට බලාපොරොත්තු මුදල් යම් කොටසක් මෙහි සදහන් දරුවා වැනි අයට අවශ්‍ය තොරතුරැ සමග අධ්‍යාපන වවුචර් ලෙස ලබා දුන්නොත් ඒ අය විසින් එමවවුචර් අවුරුදු 3-4 ක කැම්පස් සොමියක් සඳහා යොදනවද, නැත්නම් ජීවිතයට අත්වැලක් හදා ගන්න යොදනවාද යන්නතීරණය කරනු ඇත.

නොමිලේ උසස්  අධ්‍යාපනය ලබන 4%

ඉහලම ඒක පුද්ගල ප්‍රතිපාදනයක් වන එක් සිසුවකුට වර්ෂයකට රුපියල් 140,000 ක වෙන් කිරීමක් ලබාදී ඇත්තේ  රජයේ විශ්ව විද්‍යාල පද්ධතියටය. විශ්ව විද්‍යාල පද්ධතියකින් බලාපොරොත්තු වන මට්ටමේ විද්වත්  ඇදුරන් බදවා ගැනීමට  වැඩි පඩි, පර්යේෂණ පහසුකම්  හා වෙනත් පහසුකම් අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල වල ඒක පුද්ගල ප්‍රතිපාදනයන් අන් ආයතන වලට වඩා ඉහලය. නමුත් අපේ  රටේ විශ්ව විද්‍යාල වල ඇදුරන් බහුතරයක් එවැනි විද්වත් ස්ථාවරයක සිටීද යන්න විමසිය යුතු වෙනම කාරණයකි.

දෙවනුව, විශ්ව විද්‍යාලයට පිවිසෙන සිසුන් විසින්  අවම වශයෙන් විශ්ව විද්‍යාල අධාපන පුනරාවර්තන වියදමෙන් 1/3 ක් වත් ගෙවීම ගැන සංවාදයක් ඇති විය යුතුය. විවෘත  විශ්ව විද්‍යාලයේ දැනටමත් පුනරාවර්තන වියදමෙන් තුනෙන් එකක් පමණ ගාස්තු වලින් පියවෙන බව ද මෙහිදී සැලකිල්ලට ගත හැක. මෙම අය කිරීම් ශිෂ්‍යත්ව  තුලින් හෝ අනාගත ඉපයුම් වලින් අය කර ගැනීමේ බලපොරොත්තුවෙන් ලබාදෙන පහසු ණය තුලින් ආවරණය කල හැක. අනුරුද්ධ ප්‍රදීප් මහතා ද මෙවැනි ක්‍රමවේද ගැන තම පොතේ සාකච්ඡා කර ඇත.

නොමිලේ වෘත්තීය අධ්‍යාපනය ලබන 3%

වෘත්තීය  අධ්‍යාපනයේ යෙදෙන සිසුන් සඳහා  ඒක පුද්ගල වියදම  රුපියල් 60,000 කි. රාජ්‍ය දෙපාර්මේන්තු හෝ රාජ්‍ය සංස්ථා මගින්  පාලනය වන වෘත්තීය පුහුණු ආයතන  මගින් මෙම පුහුණු වීම් සිදු කෙරේ. ඔවුන් විසින් ප්‍රධානය කරන  සහතික පිළබඳ ක්‍රමවත් ඇගයීමක් නැති වීම  කණගාටුවට කරුණකි.  ජර්මන් ටෙක් ආයතනය හා සමහර ආධුනික පුහුණු ආයතන කිහපයක් හැරුණු කොට  අනිකුත් ආයතන වලින්  ලබා දෙන පුහුණුව  පිළිබඳව වැඩ ලෝකය තුල වැඩි ප්‍රසාදයක් නැති බව රහසක් නොවේ. පුළුල් ප්‍රතිසංවිධානයක් නොමැතිව රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන වලට අමතර  සම්පත් දීම බදු මුදල් හෝ ණය ප්‍රතිපාදන  අපතේ හැරීමක් වනු ඇත.

 පුද්ගලිකව  අධ්‍යාපනය ලබා ගන්නා 7%

වයස 20-24 කාණ්ඩයේ ලක්ෂයකට පමණ වන මෙම තරුණ කාණ්ඩයට දෙලක්ෂයකට අධික බාහිර උපාධි අපේක්ෂකයින් අයත් නොවන්නේ ඔවුන් බොහෝ දෙනෙක් ගේ සහභාගිත්වය ලියා පදිංචියට සීමා වන බැවිනි.  2007 දී පුද්ගලික ආයතන වල ඉගෙන ගන්නා  ගණන 50,000ක් පමණ විය හැකි බව 2009 වර්ෂයේ ලෝක බැංකුවේ ටවර්ස් ඔෆ් ලර්නින්ග් පොතේ පිටු අංක 5 හි ඇති වගුව ආශ්‍රයෙන් අපට නිගමය කල හැක.  ඉතිර 50,000 ට අයිති වන්නේ කවුද යන්න තව දුරටසොයා බැලියයුතුය. ඇත්තෙන්ම මේ පුද්ගලික ආයෝජන තුලින් ඉගෙන ගන්නා අය නිසා රජයේ වගකීම 7%කින් අඩු වීම අගය කල යුත්තක් නමුත් සිදු වන්නේ එවැනි පහසුකම් සලසන ආයතන වලට අපහාස විදීමට සිදු වීමය.  එක් චෝදනාවක් ලෙස මේවායේ ප්‍රමිතිය ඇතුළු වන සිසුන්ගේ විභාග ලකුණු වලින් මනිනු ලැබේ. අවශ්‍ය වන්නේ වැඩ ලෝකයට හෝ සමාජයට පිවිස ස්වාධීනව හා සාධාරණව ජීවත් වීමට හැකියාවක් එම අධ්‍යාපනය තුලින් ලැබේ දැයි සොයා බැලීම  මිස වැරදි විභාග ක්‍රමයක්ම  පමණක්ම මිම්මක් ලෙස යොදා ගැනීම නොවේ.

විධිම්ත්  පුහුණුවක් නොලබන 86%

දැනට ආයතනිකවපුහුණුවක් නොලබන අය අතරට වයස 20-24 අතර  මිලියන 1.3ක තරුණ තරුණියන් අයත්ව වේ.මේ අයගෙන් 54% කට සාමාන්‍ය පෙළ නැති ය යයි අපට උපකල්පනය කල හැක්කේ සාමාන්‍ය පෙළ අසමත සියල්ලන් ම වාගේ කාණ්ඩය තුල ඇත යන විස්වාශය අනුවය. ඉතිරි 32% ට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහතිකයක් තිබිය හැක. සෑම දරුවකුටම සාමාන්‍ය පෙළ සඳහා අවම සහතිකයක් ලබා දීම පාසල් වල වග කීම වුවත්, එසේ නැතිව සමාජ ගතවන තරුණ තරුණියන්ට  අවශ්‍ය  අත්වැල ලබා දීමට ඇති එකම රාජ්‍ය ආයතනය  තරුණසේවා සභාවයි.

මේ 86% ක් කණ්ඩායමට පාසලෙන් පසු සුළු රැකියාවකට යන අය , කෙටි කාලීන පාඨ  මාලා හදාරන හෝ ගෘහස්ත වැඩ වල යෙදෙන අය අයත් වනු ඇත. ඇත්තෙන්ම හෙට දින ප්‍රසිද්ධයට පත් විය හැකි තරුණ ව්‍යාපාරකයින්, ක්‍රීඩකයින්, ගායකයින් හෝ කලා  කරුවන් ආදීන්ද, පවතින අමනොඥ විභාග ක්‍රමයෙන්ඉවත්වී මේ ගොඩට එකතු වී සිටිය හැකිය.   ලංකාවට විදේශ විනිමය උපයන කර්මාන්ත ඇති කරන්නන්, එම කර්මාන්ත වල සේවය කරන්නන්ද මෙම කණ්ඩායමට  අයත් වනවා නොඅනුමානය.  පාරේ පෙළපාලි යන සුළුතරයකගේ  ශබ්දයට බය නොවී, රටේ මුළු මහත් තරුණ ජවය දිරි ගන්වා ඔවුනට අත හිත දීම සඳහා මේ බහුතරය මුල් කර ගත් අධ්‍යාපන ප්‍රතිපත්තිසකස් විය යුතුය.  එවැනි තත්වයක් යටතේ තරුණසේවා සභාවටලබා දෙන ප්‍රතිපාදන වල  ඒක පුගල වියදම රු. 2350 ක් පමණක් වීම ගැන අවධානය යොමු විය යුතුය.

එවැනි අවධානය යොමු විය යුතු ප්‍රතිපත්ති කිහිපයක්ඉදිරිපත් කිරීම වෙනත් ලිපියකින් ….

Advertisements