එළඹෙන මැතිවරණයේදී තරුණ ඡන්ද තීරණාත්මක වේ.

අන්තර්ජාතික මිනුම් අනුව තරුණයන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15-24 ත් අතර වසර දහයයක පරාසයක තරුණ කොටස්ය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට  නැවතත් බලයට පැමිණෙනවාද යන්න පිළිබඳව තීරණාත්මක මොහොතක්වන මෙම මැතිවරණයේදී වැදගත් වන්නේ ඡන්ද බලය හිමි  වයස 18-24 අතර තරුණ කාණ්ඩයයි.

මිලියන දෙක හමාරක් පමණ වූ මෙම තරුණ කාණ්ඩය, එල්. ටී.ටී ඊ කෲරත්වය මෙන්ම, 2009  එල්. ටී.ටී ඊ පරාජයේ යේ සොම්නසද වින්දහ.  2010-2015 කාලය තුල මහින්ද රාජපක්ෂ හුදෙක් ජනපති නොව රජෙකු ලෙස ආදරයෙන් හෝ බියෙන් පිළිගත් සමාජයක ජීවත් වීමටද ඔවුහු  පුරුදු වූ හ. ජාතික යොවුන් සේවාව වැනි තම ජීවිතයට අත්වැලක් විය හැකි ආයතනයන් තාරුණ්‍යය හෙටක් ලෙස  ජනපති පුතුන්ට අදක්  වන හැටි ඔවුනට බලා සිටිමට සිදු විය.  රජයේ රැකියාවල නියුක්ත වූවන්  ගණන ලක්ෂ 7 හා  සිට තවත් සොච්චමකට වැඩ කරමින් අතිරේක ලක්ෂ 7 ක බලකායක් ලෙස දෙගුණ වන විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම රැකියා ලොතරැයියේ වාසිය පතා දේශපාලඥයින් පසු පස ගියෙත්  මේ අයමය.

ඇත්තෙන්ම මේ තරුණ කාණ්ඩය ගැන අප දන්නේ මොනවාද? පසු  ගිය ජනාධිපති මැතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට මෙම තරුණ ඡන්ද තීරණාත්මක වූ බවට ජනප්‍රිය මතයකි. ඔවුනගේ  ඡන්ද පාවෙන ඡන්ද ලෙසද තව මතයක් පවතී. නමුත් මෙම 18-24 පරම්පරාවේ සි තුම් පැතුම් ගැන දැනගැනීමට වෙනත් බොහෝ රටවල කෙරෙන ආකාරයේ ජාතික තරුණ සමීක්ෂණයන්  ලංකාවේ කෙරෙන්නේ නැත. යන්තම් හෝ ඒ අයගේ ජීවන තත්වය පිලිබඳ ඉගියක් ලැබෙන්නේ සෑම කාර්තුවකම ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ශ්‍රම බල කාය පිලිබඳ වාර්තාවෙනි.

එම දත්ත වලට අනුව රටේ විරැකියා ප්‍රශනය වැඩියෙන්ම දැනෙන්නේ තරුණ පරපුරටය. මෙය ලංකාවේ පමණක් නොව ලෝකය පුරා දක්නට ලැබෙන සංසිද්ධියකි. 2015 පළමු කාර්තුවේදී ලංකාවේ වයස අවුරුදු  15-24 අතර කණ්ඩායමේ විරැකියාව් 19% ක් විය. මේ අය වයස  අවුරුදු  25-29 කාණ්ඩය වෙත එළඹීමත් සමග ඒ අයගේ විරැකියාව 8% දක්වා අඩුවේ. මේ සංසිද්ධිය පිලිබඳ එක් පැහැදිලි කිරීමක් ලෙස මා මීට කලිනුත් හුවා දැක්වූ යේ මේ අය රජයේ රැකියාහෝ වෙනත්  විධිමත් රැකියා බලාපොරොත්තුවෙන් යම් විධියක සංක්‍රාන්ති  කාලයක් පසු කරමින් සිට වයස 25 ඉක්ම වන විට යථාර්තය පිළිගෙන ලංකාවේ රැකියා වලින් 60% ක් පමණ වූ අවිධිමත්  ගණයට වැටෙන රැකියා ලෝකයට ඔවුන් වැඩි දෙනෙකු එකතු වෙන බවයි.

මෙම තරුණ පරපුරේ සංක්‍රාන්ති කාලය වඩා පලදායී කිරීමට හැකි බවත්, වයස 25 ට පසු බොහෝ විට ඔවුනට ලබාගැනීමට හැකි වන අවිධිමත් වර්ගයේ රැකියා  වඩා ආකර්ෂණීය කළ හැකි බවටත් මෙම 18-24 පරපුරට ඒත්තු ගැන්වීමට ප්‍රධාන ජාතික පක්ෂ තුන වෙර දරන බව ඔවුනගේ මැතිවරණ ප්‍රකාශන වලින් පැහැදිලිවම පෙනේ.

ප්‍රධාන පක්ෂ තුනේ ප්‍රතිපත්ති ප්‍රකාශන හා හැසිරීම් තුලින් විදහා දැක්වෙන ආකාරයට ප්‍රතිපත්ති දිශානතීන් තුනක මම දකිමි. ඒවා නම් – රජෙකු  පෙරටුකර ගත්, රාජ්‍යය පෙරටු කර ගත් හා රාජ්‍යය භාරකාරයා ලෙස පිළිගත් –යන තුන් ආකාරයයි. තරුණ පරපුර මේ තුන් ආකාරයට ප්‍රතිචාර දක්වන අන්දම මේ මහා මැතිවරණයේ දී තීරණාත්මක වනු ඇත.

රජෙක් පෙරටු කර ගත් එජනිසය

එජනිස මැතිවරණ ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ ව්‍යාපාරයකි. තම බල පාලනය සමයේ අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කළ  මහින්ද රාජපක්ෂ මහතා වෙත රොක් වෙන ජනතාව පෙන්නුම්  කරන්නේ එක්කෝ එවැනි පාලනයක් ඔවුන් ප්‍රිය කරන බව හෝ නැතිනම් නාසය වසාගෙන හෝ සිංහල බෞද්ධ අධිකාරයක් සඳහා එවැනි ප්‍රතිපත්ති ඔවූන් විසින් ඉවසා සිටින  බවයි. එම නිසා  එජනිසය ප්‍රකාශනයද රාජපක්ෂ බලයට ගෙන ඒමේ පටු අරමුණ ඇතිව සමාජයේ තෝරා ගත් කොටස් වලට ලෙස ප්‍රතිලාභ ලබා දීමේ  වැඩ සටහනකට මෛත්‍රිපාල යහපාලන අදහස් කෘතිමව ඔබ්බවා සැලසුණු ලේඛනයකි. එම ලේඛනය ජාතික සංහිදියාව, දූෂණය පිටු දැකීම සහ  ආර්ථිකය සිට  කාන්තා හා ළමා ප්‍රතිපත්ති  හා ආයෝජන හා යටිතල පහසුකම් ලෙස කොටස් දොළහකට බෙදා තිබුනත් මූලිකවම එය එක් එක් අවස්ථාවල එක් එක් තෝරා ගත් කොටස් සඳහා සහන ණය, තීරු බදු වාහන, විශ්‍රාම වැටුප් හා රක්ෂණ  හෝ අතට මුදල් ලබා දෙන බවට  පොරොන්දු ලැයිස්තුවකි. .

උදාහරණ ලෙස,  රාජ්‍ය අනුග්‍රහය මත පිහිටුවනු ලබන විශ්‍රාම වැටුප් සහිත රක්ෂණ ක්‍රමයක් ලබා ගැනීම සඳහා  එජනිසයෙන් සුදුසුකම් ලබන වාසනා වන්තයින් වන්නේ:

“විදේශ රැකියා නියුක්තිකයන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් , කලාකරුවන් සහ මාධ්‍යවේදීන්, ඇගලුම් කර්මාන්තයේ නියලී සිටින සේවක සේවිකාවන්, පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ටැක්සි රථ, පාසල් වෑන් රථ හා සංචාරක ප්‍රවාහන ආදී සියළු ක්ෂේත්‍ර වල රියදුරන්ය.”

ත්‍රී රෝද රථ හිමියන් සඳහා රක්ෂනයන්ට අමතරව තීරු බදු පහසුකම් හා සහන ණයද පොරොන්දු වන්නේ ඒ අය වෙන්ව හඳුනා ගත හැකි ඡන්ද දායකයින් පිරිසක් වන නිසා මිස ආර්ථික වර්ධනය හා රැකියා උත්පාදනය සඳහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය නිසා නොවන බව ඉතා පැහැදිලිය.

සමස්තයක් ලෙස එජනිස ප්‍රකාශනයේ සහන ණය, තීරු බදු සහන හෝ විශ්‍රාම වැටුප් පිළබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැත.  මෙම ප්‍රකාශනය ඇත්තෙන්ම 2005 වර්ෂයේ සිට සමාජගත කෙරුණු  “ඔබ රජයේ රැකියාවලට කැමති බව මම දනිමි. එම නිසා රජයේ රැ කියා ඇති කරමි “ යන වර්ගයේ  අවස්ථාවාදී දර්ශනයක් මිස ප්‍රතිපත්තිමය පදනමක් නැති ලේඛනයකි.

රාජ්‍යය මැදිහත් වීම කේන්ද්‍ර කරගත් ජවිපෙය

රැකියා ප්‍රශ්නය පිළිබඳව  ජනතා විමුක්ති පෙරමුණේ පහත දැක්වෙන විශ්ලේෂණය බොහෝ දුරට නිවැරදිය.

“රැකියා වියුක්තිය හා රැකියා නියුක්තිය පිලිබඳ නිවැරදි තොරතුරු  සංචිතයක් නොමැත. ශ්‍රම බලකායේ බොහෝ දෙන නිරත වන්නේ අස්ථාවර හෝ නිෂ්පාදනයට දායක නොවන කාර්යයන්හීය. බහුතරයක් දෙනා රැකියාවෙන් ලබන ආදායම ආහාරපාන වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හෝ ප්‍රමාණවත් නොවේ.”

නමුත් ඔවුන් විසදුම ලෙස ඉදිරිපත් කරන්නේ  රාජ්‍යය මැදිහත්ව කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලීන්  හඳුන්වා දීමත්, පෞද්ගලික අංශයේ ආයෝජන රාජ්‍ය ආර්ථික සැලසුම් අනුව ක්‍රියාත්මක කෙරිය යුතු බවත්  යන ප්‍රතිපත්ති දෙකකි. උදාහරණ ලෙස:

“දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් රාජ්‍ය අංශයේ රැකියා නිර්මාණය කළ ද එම රැකියාවන්හී නියුක්ත කර ඇත්තේ  රැකියා ලාභියාට හෝ මහා ජනතාවට වැඩ දායක වන ආකාරයට නොවය. පෞද්ගලික අංශයේ සේවා සපයන බොහෝ රැකියාවන්ද  නිර්මාණය වී ඇත්තේ රජයේ විධිමත් ආර්ථික සැලැස්මකින් තොරව  වන අතර වෘත්තීය අයිතිවාසිකම් අහිමි කරමින් කොන්ත්‍රාත් පදනමින් සේවයට බඳවා ගැනීම තුලින් ශ්‍රමිකයින් දරුණු ශ්‍රම සූර කෑමකට ලක් වීමද ප්‍රධාන ගැටලුවකි.”

ජවිපෙය විසින් රාජ්‍ය අංශයේ රැකියා නිර්මාණය සඳහා ආයෝජන කළ යුතු අංශයන්ද දැනටමත් තීරණය කර ඇත. බොහෝ  නිෂ්පාදනයන්ට ‘අමු ද්‍රව්‍යයන්’ ලෙස අවශ්‍ය වෙන සල්ෆියුරික් අම්ලය හෝ මිනිරන් වලින් නිපදවෙන බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කාබන් බ්‍රෂ් සඳහා  රජයේ කර්මාන්ත ශාලා පිහිටවිය යුතුය, එතුලින් රැකියා උත්පාදනය කළ හැකිය යන වර්ගයේ ඔලමොට්ටල යෝජනා ජවිපෙය විසින් ඉදිරිපත් කරන්නේ  ‘රාජ්‍යය මැදිහත් නිෂ්පාදන ආර්ථිකය’ යන්න  එක්දහස් නවසිය හැත්තෑව දශකයේ රටේ ජනතාව දරිද්‍ර තාවයට පත්කිරීම නිසා  ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් හා  ගෝලීයකරණය වූ හා ඉතා තරඟකාරී වූ වත්මන්  සන්ධර්භය තුල  සල්ප්ෆියුරික් අම්ලය රටේම නිෂ්පාදනය කරනවාද පිට රටින් ගෙන්වාද යන ආයෝජන  තීරණය ගැනීම  රජයකට  කළ නොහැකි බව හා නොයුතු බව නොදැන ද?

යහ පාලනය පිළිබඳ සුන්දර කථාවන්ටම  නොරැවටී , රැකියා උත්පාදනය සඳහා යහපාලනය සමග අත්වැල් බැඳ යන ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තීන් අවශ්‍යබව මේ මැතිවරණයේදී තරුණ පරපුර විසින් තේරුම් ගෙන කටයුතු කරයි යන්න මගේ උදක් බලාපොරොත්තුවයි.

රජය පරිපාලකයා පමණක්ය කියන එජාපය

එජාපයේ මැතිවරණ ප්‍රකාශනයට අනුව රජයේ කාර්ය භාරය පෞද්ගලික අංශය දියුණු කිරීමත් එහි ප්‍රතිලාභ සාධාරණව බෙදී යෑම සහතික කිරීමත් පමණක් බව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එජාපය පැහැදිලිව දක්වා සිටියි.

“අපේ නව ආර්ථික වැඩපිළිවෙලට පාදකවන්නේ දැනුම මත පදනම් වූ තරඟකාරී සමාජ වෙළඳ ආර්ථිකයයි. මෙය වාමවාදී ආර්ථිකයටත් ධනවාදී ආර්ථිකයටත් වඩා දියුණු මානව හිතවාදී ආර්ථිකයකි. තරඟකාරී වෙළඳපොළ ආර්ථිකය, රජයේ සර්ව පරිපාලනය යටතේ පවත්වා ගෙන යමින් මහජනතාවට සාධාරණ සමාජ ප්‍රතිලාභ ලබාදීම සහතික කෙරේ. සමාජයේ අසරණ,වයෝ වෘද්ධ හා රැකියා විරහිත ජන කොටස් වල සුභ සාධනයත් පරිසර සංරක්ෂණය පිලිබඳ විශේෂ අවධානයත් සමාජ වෙළඳ පොළ ආර්ථිකයේ ආවේනික ලක්ෂණ වේ. යෝජිත සමාජ වෙළඳ පොළ ආර්ථිකය අවධාරණය කරන්නේ විවෘත ආර්ථිකයේ පදනම පුළුල් කිරීමහෙවත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි.’

ඇත්තෙන්ම මෙම ප්‍රකාශනය එජාපය අනිකුත් පක්ෂ දෙකින් තීරණාත්මක ලෙස වෙන් කර දක්වයි. ආකර්ශනීය සහන පොරොන්දු රැසක්  එජාපය විසින්ද  ඉදිරි  පත් කර තිබුනත් ඒවා යම්  තරමකට ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලත්  ඉදිරිපත් කර තිබීම ද සාධනීය ලක්ෂණයකි.

උදාහරණ ලෙස, මිලියන පහක රැකියා උත්පාදනය සඳහා වොක්ස්වාගන් ෆැක්ටරියක් ලබා ගැනීම, GSP+ තීරු බදු සහන නැවත ලබා ගැනීම , ධීවර අපනයන තහනම  ඉවත් කරගැනීම හා කලාපීය වෙළඳ ගිවිසුම් තුලින් ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීම යනාදී වශයෙන් විධිමත්  රැකියා උත්පාදනයේ උත්සාහයන් යෝජනා කරන අතරම අවිධිමත් රැකියා ද  ආකර්ශනීය කිරීම සඳහා පහත සදහන් ලෙස පියවරයන් කිහිපයක්ද  යෝජනා කර ඇත.

පළමුව “ගොවියන්, ධීවරයින්, වතු අංශයේ ශ්‍රමිකයන්, ඇගලුම් සේවක සේවිකාවන් ඇතුළු අපනයන සැකසුම් ඇතුළත් කර්මාන්ත සේවකයින් සඳහා පරිපූර්ණ රක්ෂණ සැලසුමක් ක්‍රියාවට නංවන්නෙමු.” යන ප්‍රකාශනය තුලින්  පෙන්වන්නේ ලබා දෙන සහන අපනයන කර්මාන්ත වල යෙදෙන සේවකයින්ට ප්‍රමුඛතාවය දෙන ලෙස යොමු කිරීම  තුලින් එවැනි කර්මාන්ත නැංවීම සඳහා වූ පැහැදිලි ප්‍රතිපත්තියකි.

දෙවනුව   “රැකියාව අහිමි වීමකදී සේවකයන්ට රැකවරණය ලබා දෙන සේවා වියුක්ති ප්‍රතිලාභ රක්ෂණ සැලසුමක් ස්ථාපිත කිරීම” හා  “මෙම ජීවන වේතනය වැටුපක් නොලබන සේවක සේවිකාවන් වෙනුවෙන්ද අනාගතයේ ක්‍රියාවට නවන්නෙමු” ලෙස එම ආවරණයන් ක්‍රමක්‍රමයෙන් අනිකුත් ක්ෂේත්‍ර වලටද දිගු කිරීමේ දීර්ඝ කාලීන සැලැස්මක්ද යෝජනා කෙරේ.

තරුණ පරපුරේ තේරීම

අවසන් වශයෙන්, රජෙකු  පෙරටුකර ගත්, රාජ්‍යය පෙරටු කර ගත් හා රාජ්‍යය භාරකාරයා ලෙස පිළිගත් යන දිශානතීන් තුන අතුරෙන්  තමන්ගේ මෙන්ම ජාතියේ දියුණුවට මග පෙන්වන දිසාවක් තෝරා ගැනීමට අප තරුණ පරපුරට හැකියාව ලැබේවායි මා ඉත සිතින් පතමි.

Advertisements