මෙම ලිපිය ජූලි 30 වැනි දින දිනමිණ පත්තරේ  පළ විය.  (http://epaper.dinamina.lk/?id=07&tday=2015/07/30)

ලංකාවේ ආර්ථිකව ක්‍රියා කාරී ජනතාවගෙන් රැකියා විරහිත තත්වයේ සිටිනුයේ 4-5% අතර ප්‍රතිශතයක් බව පසු ගිය වසර කිහිපය තුල සංගණන වාර්තාවලින් දැක්වේ.  ඉන් 15-24 වයස් කාණ්ඩයේ විරැකියාව 19% ක් පමණ නමුත් ඉන් වැඩි දෙනෙක් ඉගෙනීමේ, පුහුණුවේ හෝ අවිනිශ්චිත සංක්‍රාන්තියක  කාලය  ගත කරමින් සිට  25-29 වයස් කාණ්ඩය වන විට ශ්‍රම බලකායට එක් වීමෙන්  එම 25-29  වයස කාණ්ඩය සඳහා විරැකියාව 8.5% දක්වා අඩු කෙරේ..

සංඛ්‍යා ලේඛන කෙසේ වෙතත්, විරැකියාව දරුණු ප්‍රශ්නයක් යන මතය සමාජ ගතව ඇත.  සැබෑ ප්‍රශ්නය  විරැකියාව නොව තිබෙන යම් යම් රැකියා වල අවිධිමත් බව නිසා එම රැකියාවන් පිළිබඳ අතෘප්තිතාවය යි කීම නිවැරදියි මම සිතමි.

රටේ රැකියා වලින් 61% ක් අවිධිමත් රැකියා ගණයට වැටේ. මෙම රැකියාවල යෙදෙන්නන්ට හෙට වැටුපක් ලැබීම ගැන ස්ථිරත්වයක් නොමැත. විශ්‍රාම වැටුප් වෙනත් දීමනා සඳහා සුදුසු කම් නොලබයි. මෙයින් වැඩි දෙනෙක් කෘෂි කර්මය හෝ ධීවර කර්මාන්තයේ යෙදෙති. අවිධිමත් රැකියා (informal sector jobs), අනාරක්ෂිත රැකියා (vulnerable jobs) හෝ අඩමාන රැකියා (precarious jobs)  යන කොයි නමින් හැදින්වුවත් මෙම සංසිද්ධිය ලංකාවට පමණක් නොව ආසියාතිකරයම හෝ මුළු ලෝකය සඳහා  බලපාන්නකි.

ශ්‍රී ලංකා සංගණන දෙපාර්මේන්තුවේ අලුත්ම ශ්‍රම බල වාර්තාවට අනුව 2015 පළමුවන කාර්තුවේ දී මිලියන 8.5  ක් වූ ශ්‍රම බල කායෙන් 15% ක් රජය සේවකයන් ද, 40% ක් පෞද්ගලික අංශයේ සේවකයන්ද, 3% සේව්‍යයන් හෝ හාම් පුතුන් ද, 33% ක් ස්වයං රැකියා වල යෙදෙන්නන්  හා 9% ක් පවුලේ ආර්ථිකයට දායක වන්නන් වේ.

අන්තර්ජාතික මිනුම් සඳහා අවිධිමත්  රැකියා ලෙස හැදින්වෙන්නේ මෙම අවසාන කාණ්ඩ දෙක පමණි.  ඒ අනුව ආසියාතික රටවල විරැකියාව සමස්තය වශයෙන් 4%-5% දක්වා වූ අඩු මට්ටමක පවතින නමිත්  අවිධිමත්  රැකියා ප්‍රතිශතය සියයට හතලිස් පහක් ලෙස ILO ආයතනය අනුමාන කර ඇත. එම අන්තර්ජාතික නිර්ණායක අනුව, 2014 දී ලංකාවේ අවිධිමත්  රැකියා ප්‍රතිශතය සියයට හතලිස් පහක් ලෙස වේ. නමුත් එක් එක් රටවල් තමන්ගේ රටේ අවිධිමත් රැකියා ප්‍රතිශතය ඊට වඩා සූක්ෂම ලෙස ගණනය කිරීම සඳහා වෙනත් ක්‍රම වේදයන් අනුගමනය කරති. ශ්‍රමිකයන් හා අනුබද්ධ ආයතන නිසි පරිදි ලියාපදිංචි වූ හෝ නිසි මූල්‍ය කළමනාකරණයක් නැති හෝ සේවකයන් ඉතා අඩු ගනනකින් පවත්වා ගන්නා ආයතනද යන්න සොයා බල ඒ අනුව ශ්‍රම බලකාය විධිමත් හෝ අවිධිමත් ලෙස වර්ගීකරණය කිරීම ශ්‍රී ලංකා සංගණන දෙපාර්මේන්තුව විසින් කරනු ලැබේ. ඒ අනුව ඔවුන් විසින් ලංකාවේ ශ්‍රම බල කායේ අවිධිමත් කොටක 61% බවට නිගමනය කර ඇත.

රැකියාවල අවිධිමත්බව ගෝලීය ආර්ථික ප්‍රවණතාවයේ කොටසකි. ගෝලීය ආර්ථිකයක් සමග ගැටීම තුලින් තම ජනතාවට වඩා හොද ජීවන තත්වයක් ලබාදිය හැකි බව 1977 න් පසු ලංකාවේ දී පමණක් නොව මහජන චීනය හා වියට්නාමය වැනි එවකට කොමියුනිස්ට්  රජයන් පවා ක්‍රියාවෙන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වුවද ගෝලීය ප්ලග් ගැලවීමට සූදානම් වූ අය එම මතයෙන් ඉවත් වී තිබීම සාධනීය ලක්ෂණයකි. නමුත් ගෝලීය ආර්ථිකය සමග ලබන අනර්ථකාරී ප්‍රතිඵල වලට විසදුම් සෙවීම සෑම රජයක වග කීමය.

රජයේ රැකියා රතු ඉරෙන් එහාට වැඩි කළ මහින්ද

රජයේ රැකියා වල ආකර්ෂණය ඒවායේ ඇති ස්ථාවර භාවය ය. රාජපක්ෂ රෙජීමය කපටි ලෙස එම ආකර්ෂණය  බලයට ඒමට හා බලය පවත්වා ගැනීමේ යාන්ත්‍රනයක් සාදා ගැනීමට යොදා ගත්තේය. 2005 සිට 2015 කාලය තුල තමා රජයේ රැකියා දෙගුණ කළ බව ආඩම්බරයෙන් රාජපක්ෂ මහතා කියා සිටියේ යුද ජයග්‍රහණයේ උද්දාමයෙන් නිර්වින්දනය වූ ජනතාවක් ඉදිරියේය.  වගගිවකිය යුතු පාලකයකු ලෙස ඔහු කළ යුතුව තිබුනේ තමාගේ ජනප්‍රියතාවය රටේ ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රගතිශීලී දිශාවක යොමු කිරීමට යොදා ගැනීමය. එසේ  යොමු  කිරීමට ඇති බාධක, විශේයෙන්ම අවිධිමත් රැකියා ආකර්ෂණීය වීමට ඇති බාධක ඉවත් කිරීමය.

හානිකර ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ජවිපෙය

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි “ලංකාවේ වසරකට රැකියා අපේක්ෂාවෙන් රැකියා වෙළඳ පොලට ඇතුල්වන තරුණ තරුණියන් ප්‍රමාණය ලක්ෂ 03 ක් ඉක්මවන විට රාජ්‍ය අංශයේ හෝ විධිමත් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලැබෙන්නේ ඉන් 65,000 කට පමණි. ඉතිරි 235,000 ජීවත් වීමට මගක් නොමැති අය බවට පත්වේ. ඉන් සිදුව ඇත්තේ අනාගතයක් නැති ජනතාවක් බිහි වීමය.”

මීට අමතරව ජවිපය විසින්  සෑම රැකියා විරහිත පුද්ගලයෙක්ටම  දීමනාවක් දීමටද පොරොන්දු වේ.

මේ ප්‍රකාශනයන්ගෙන් පැහැදිලිව පිළිඹිඹු වන්නේ ජවිපෙ ප්‍රතිපත්තින්ගේ ළදරු බවය. හානිකර බවය. මා කලින් කී පරිදි වයස අවුරුදු 25-29 අතර තරුණ කාණ්ඩය යනු රැකියා පිළිබඳ යම් සමතුලිත තාවයකට පත් වූ කාණ්ඩයකි. 2015 පළමුවන කාර්තුවේ සංඛ්‍යාන අනුව මේ අයගෙන්  200,818 ක් රැකියා වල නියුතු  වෙති.  රැකියා නොමැතිව රැකියා සොයන්නෝ 16,283  කි. අනිත් 116,900 පවුල් ප්‍රශ්න හෝ වෙනත් හේතු නිසා ආර්ථිකයට දායක නොවන අය වේ. ආර්ථිකයට දායකනොවන සංඛ්‍යාව ගැන තවදුරටත් විමසමු.  මේ අය අනාගතයක් නැති අය නොවේ. සෑම වසරකම සාමාන්‍ය පෙල සහතියක් නැතිව වසර 11 දී හෝ ඊට පෙර පාසල හැර යන තරුණයන්ගේ සංඛ්‍යාව 170,000 කට වැඩිය. මේ අයගෙන් දළ වශයෙන් 85,000 ක් වත් වන තරුණියන්  මවු පදවිය ලැබ  දරුවන් රැක බලාගැනීමේ යෙදීම බොහෝ දුරට බලාපොරොත්තු විය හැක. මේ අයට  අවශ්‍ය නැවත ශ්‍රම වෙළඳ පොලට එම නිසි කලට ලැබෙන අත්වැලක් මිස පින් පැදියක් නොවේ.

මෙවැනි සංඛ්‍යාලේඛන හමුවේ ජවිපෙය විසින් එම 15-29 දක්වා වූ වයස කාණ්ඩය අනාගතයක් නැති කොටසක් ලෙස නම් කර ආණ්ඩුවෙන් ලැබෙන පින් පඩියකට යොමු කිරීම රාජපක්ෂ රෙජීමය විසින් තරුණ තරුණියන් රජයේ රැකියා වලට යොමු කිරීමටත් වඩා හානිකර ප්‍රතිපත්තියකි.

ගෝලීය වෙළඳ පොළ තුලින් විධිමත් රැකියා උත්පාදනය

ජේ. ආර්. ජයවර්ධන මහතා සංචාරක ව්‍යපාරය තුලින්ද,  ප්‍රේමදාස මහතා ඇගලුම් ව්‍යාපාරය තුලින්ද, වික්‍රමසිංහ මහතාද  වෙළඳ කලාප තුලින් ද රැකියා උත්පාදනය සඳහා මුල් වුන නායකයන්ය. නවීන යුගයට ගැලපෙන ලෙස ගෝලීය වෙළඳ පොලට රට සම්බන්ධ කිරීම පිලිබඳ ප්‍රතිපත්ති මාලාවක් එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රකාශනයේ සවිස්තරව දක්වා ඇත.

ඒ අතර ජවිපය විසින් රජයේ මැදිහත් වීමෙන් කර්මාන්ත ශාලා පිහිටු විය යුතුය වැනි යල් පැන ගිය අදහස් ඉදිරිපත් කරයි. මහින්ද පෙරමුණු කරගත් සන්ධානය විසින් උද්දච්ඡ වූත් ජාති වාදී වූත් දර්ශනයක් කරා තවමත් ජනතාව ගෙන යාමට උත්සාහ කරයි. එවැනි අය තුලින් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීම බොරුවකි.

අවිධිමත් රැකියා ආකර්ශනීය කිරීම

පුද්ගලික අංශයේ රැකියා මහා පරිමාන, මධ්‍යම, සුළු හෝ ක්ෂුද්‍ර ලෙස හතර  වර්ගයකි. මහ හෝ මධ්‍යම  පරිමානයේ  සමාගමක රැකියාව වඩා විධිමත්ය. එම නිසා ආකර්ෂණීය ය. විදේශ ආයෝජන තුලින් මෙවැනි රැකියා ඇති කිරීම ඉතා වැදගත්ය. එජාපය මගින් කුරුණෑගල ප්‍රදේශයට වොක්ස්වැගන් කම්හලක් ලබා ගැනීම පිලිබඳ පොරොන්දුව ඉටු වුනොත් ඉතා හොඳය..

නමුත්  අප රටේම සුළු හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර තුලින් රැකියා උත්පාදනය කොයි තත්වයන් යටතේ වුවත් අත්‍යාවශ්‍ය වන්නේ විදේශ ආයෝජන ලබා ගැනීම ඉතා තරඟ කාරී නිසාය. සුළු හෝ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් වැඩි දෙනෙක් කෘෂි කාර්මය හෝ ධීවර කර්මාන්තවල යෙදෙති. අස්වැන්න විනාශ වූ හෝ වෙළඳ පොලේ ඇතිවන ක්ෂණික වෙනස් කම අනුව ප්‍රතිචාර දැක්වීමට මෙම හාම් පුතුන් සූදානම්ව සිටිය යුතුය. සේවක සංඛ්‍යාව අඩු වැඩි කිරීමට ඔවුනට හැකියාව තිබිය යුතුය. එවැනි ව්‍යාපාරිකයන් හා එම ව්‍යාපාර  සේවකයන් සඳහා රක්ෂණ සේවාවන් හා වෙනත් ප්‍රතිපත්තිමය මෙවලම් එජාප ප්‍රතිප මාලාවට එක්ව ඇත.

මේ මගේ මතයයි. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා ඔබම තීරණය කරන්න.

Advertisements