ආරම්භයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ විරුද්ධ පක්ෂයේ මූලික තේමාව වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමයි. පොදු විපක්ෂය මගින් අලුතින්ම නිකුත් කර ඇති ප්‍රචාරක වීඩියෝවේ තේමාව “මැකෙනා මිනිස්කම් රකින නායකයා” යන්නයි. මෙය හොඳ ලක්ෂණයකි. ඉදිරි දින කිහිපය තුළ මැකෙනා  මිනිස්කම යනු කුමක්ද, එය රකින්නේ කෙසේද යන්න පොදු විපක්ෂයේ  ප්‍රතිපත්ති මාලාවෙන් කෙසේ  ඉදිරිපත් වේද යන්න අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.

2010 මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධාන තේමාවක් වූ යේ  “විනය ගරුක-නීති ගරුක යහ පාලනයකින් යුත් සදාචාර සමාජයක්”  යන්නයි.  ජනපති තුමාම  මෑතකදී ප්‍රසිද්ධ රැස්වීමක  කියා සිටියේ රටේ යම් විනය පිරිහීමක් දකින්න ඇති බවයි.  එම පිළිගැනීම හොඳ ලක්ෂණයකි. රාජපක්ෂ ප්‍රත්පත්ති මාලාවෙන්ද යහපත් සමාජයක් සඳහා විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ගැන  යෝජනා ඉදිරිපත් වේ නම්  මේ මැතිවරණයේ  ජය පරාජය කෙසේ වෙතත් රට දිනුම්ය.

යුද්ධයේ නිමාව  හෝ  යටි තල පහසුකම් සංවර්ධනය පිලිබඳ ව වත්මන්  නායකත්වයේ කාර්ය භාරය ගැන මත බේදයක්  නැත.  චෙක් පොයින්ට් නැත. බෝම්බ පිපිරෙයි කියා බයක් නැත. කවදාවත් නොතිබූ ලෙසට පාර  තොට වටපිටාව  හැඩ වී ඇත. තරුණ තරුණියෝ පමණක් නොව වැඩිහිටියෝ ද හැඩට වැඩට ඇඳගෙන ගමන් බිමන් යති.  ජංගම දුරකතනයක්  දුරකථනයක් අතේ නැති කෙනෙක් නැත.  මොනවාද කෑවේ කියා බඩ හාරා බැලුවොත් මිස  බඩු මිල බඩට වැදී ඇති බවක්   බැලු බැල්මට පෙනෙන්න නැත.

පන්සල් පල්ලි වලට යන එන අයගේ ද  අඩුවක් නැත. නමුත් උදේ හවා  පන්සිල් සමාදාන වන, පිරිත් කියන, පිරිත් අහන ආමිස පූජා යතාර්ථයට  යටින් ඇති ප්‍රතිපත්තිමය යථාර්තය දුර්ගන්ධ ය.  ලංකාවේ ඉහළ උසාවියේ නඩු වලින්  බහුතරයක අගතියට පත් පාර්ශවය දරුවන්  වීම  පිළිබඳව පුළුල් කතිකාවතක් විය යුතුය.  බීමත් කම, ස්ත්‍රී ද්වේශය, හා ලොකු ලොකු අපරාධ මෙන්ම පොඩි පොඩි අවැඩ සමාජයේ මුල් බැස ගෙන ඇත.  අපි බෞද්ධ රටක් නිසා අපේ රටේ ඒඩ්ස් ප්‍රශ්න නැත  කියා කෙනෙක් කිවුවා මෙන් කුහකත්වයෙන් නොව මේවා අවංකව විවෘත  සංවාදය තුලින් විසදුම් සෙවිය යුතු ජාතික ප්‍රශ්නයන්ය. ඇඟිලි දිගු කිරීමෙන් නොව , විධායක අහෝසි කිරීමෙන් හෝ බලය සීමා කිරීමෙන්  ඔබ්බට යන   වෙනත් ව්‍යුහාත්මක වෙනස්කම් තුලින් විසදුම් සෙවිය යුතු ජාතික ප්‍රශ්නයන් ය.

දහසක් යෝජනා ඉදිරිපත් විය හැක. මගේ පුද්ගලික ප්‍රාර්ථනාව  දැනට  අපේ අධ්‍යාපන පද්ධතියෙන් කෙරෙන  මතුපිට පෙනුමට සීමා වූ චරිත වර්ධනය වෙනුවට පූර්ණ පෞරෂත්වය වර්ධනය  හා පුරවැසි පුහුණුවට මුල්තැන් දෙන  අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපත්තිමය  වෙනසක්ය.

Advertisements