(2014 අගෝස්තු 15 වැනිදා රාවයේ පලවූ ලිපියකි)

රටේ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ඉලක්ක 10 න් එකකට  නක්ෂත්‍රය අඩංගු කර ඇති යන්න යන්න ඇසූ මගේ පලවෙනි ප්‍රතිචාරය වූයේ  විද්‍යා හා තාක්ෂණ නම  යටතේ  මෙවැනි අවිද්‍යාව පතුරන අයගේ විද්‍යා උපාධි ලෝගු ගැලවිය යුතු යන්නයි. නමුත් සමහරුන් කේන්දර නොපෑහෙන මගුල කර ගන්න ඕන වුනාම දෛවඥයා මාරු කර ගන්නවා වගේ මමත් මගේ අවස්තාවාදී  කන්නාඩි කුට්ටම දමා ගෙන ප්‍රවෘත්තිය නැවත කියෙව්වෙමි.

මම ඉක්මන් වුනා  වැඩියි කියල මට තේරුනේ එතකොටයි. ඇත්තටම උගත් විද්‍යාඥයින් පිරිසක් ඉන්න නස්ටෙක් වාගේ ආයතනයකින් උපදෙස් ගන්න අමාත්‍යංශයකින්  මෙවැනි යෝජනා  ගේන්නේ හොදට දුර දිග හිතලම වෙන්න ඕනී.  ආසියාවේ ආශ්චර්වය කරා වේගයෙන් යන අපේ රටට  බාධාවක්  වෙලා තියෙන නක්ෂස්තර කරුමේ සියුම්ව අයින් කිරීමයි මේ අයගේ අරමුණ.   නක්ෂත්තරේ බොරුව පෙන්නන්න කුඩා කාලේ ඉදන් ඉඩක් හොයමින් හිටි මං  වාගේ අයට අනුග්‍රහයක් ලබා දීම ඒ අයගේ උපාය මාර්ගයයි.

මා කවදත් සිහින මැවුව පර්යේෂණයක්  තමයි රටේ ඉන්න ප්‍රධාන  දෛවඥ වරුන්ගේ නියැදියක් තෝරාගෙන ඒ සපයන  සියලු අනාවැකි වල සත්‍ය අසත්‍ය තාවය විග්‍රහ කිරීම. පර්යේෂණ යෝජනා සඳහා ඉල්ලුම් පත් කැඳවන තෙක් බලා ඉන්නකන්, මගේ ජීවිතයේ ලඟින්ම සිටි නක්ෂත්‍රාචාර්යවරිය වන  මගේ අම්මා හා ඇගේ අනාවැකි ගැන පොඩි විග්‍රහයක් කරොත් හොඳයි   කියා හිතනවා.  

මගේ මව ජීවත්ව සිටියදී  ඇය විසූ ගමේ ගෙදර වැඩ  කටයුතු සියල්ල තීරණය වූයේ නක්ෂත්‍රය අනුවය. අවුරුද්දකට වරක් නක්ෂත්‍ර ගුරුන්නාන්සේ ගෙදරට ගෙන්වා ගන්න ඇය පවුලේ කේන්දර අහුරා ඇති ටින් එක ළඟ තියා ගෙන දවස පුරාම එක් එක් කේන්ද්‍රය විග්‍රහ කරමින් ලබන අවුරුද්ද සඳහා අනාවැකි ගොනු කර ගන්නීය. මව, පියා හා  දරුවන් හය දෙනක් මෙන්ම තාත්තගේ සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත අප නිවසේ කේන්දර සඳහා  සඳහා කියවෙන  අනාවැකි තොගයෙන්  එකක් හෝ දෙකක් හරි ගියොත්  ඇ සතුටු වන්නීය. මානසික විද්‍යාඥයින් ‘selective memory’ යනුවෙන් හඳුන්වන්නේ මෙවැනි හැසිරීම යයි මට සිතේ.  පසු කලක මට හෙපටයිටිස් සෑදුනු විට “බලන්න දරුවෙකුගේ  බඩේ අමාරුවක් ගැන දෛවඥ කිවුවා නේ” අම්මා කියන කොට “හරි ගිය නැති අනාවැකි ගැනත්  අපි කතා කරමුද “ කියා  අම්මා සමග තර්ක කරන්න මා පටන්  ගත්තේත්  ඒ කාලයේම වෙන්නට ඇත.

මගේ පියා  අවුරුදු හතලිස් හතේදී හදිස්යේම මරණයට පත් වූ පසුත්  එවැනි තත්ත්වයක් ඇති වේ යයි අපට අනතුරු ඇගවීමට බැරි වුන නක්ෂත්තරේ අත හරිනවා වෙනුවට, තාත්තගේ මරණයෙන්  පසු ඇතිවුණ අස්ථාවර තත්වයට මුහුණ දීමට අම්මා  තව දුරටත් නක්ෂත්‍රයට නැඹුරු වුනාය. කේන්දර සෑදීම හා පලා ඵල කීම ද  ඈ හදාරන්න පටන් ගත්තාය. තාත්තා නැති පාළුව දුක මග හැර ගන්න නක්ෂත්‍රයඇයට පිටිවහලක් වන බව දුටු මට තව දුරටත් අම්මා සමග වාද කිරීම අත් හැර  අම්මාගේ නක්ෂත්‍ර ලෝකය  සමග සහජීවනයට  අලුත් උපක්‍රම සොයා ගන්නට විය. උත්තරයක්  ලැබුනේ අහම්බෙන්මය.

පුරුද්දක්  හැටියට රාත්‍රී අහස දිහා බලා එහි චමත්කාරය විදින මට කුමන ග්‍රහ ලෝකය කුමන රාශියේ සිටින්නේද බොහෝ විට පැහැදිලි නැති වුන අවස්ථා තිබිණි. ජංගම දුරකතනයෙන් Google Sky  බලන්න බැරි ඒ කාලයේ අම්මාගේ නක්ෂත්‍ර දැනුම ප්‍රයෝජනවත් විය හැකි බව එවිට මට ප්‍රත්‍යක්ෂ විය.  “අම්මේ, අද කුජ තියෙන්නේ  මොන රාශියේද”  මා ඇසුවොත්, අහසේ ඇති ග්‍රහවස්තු හා ඈපා පංචාංග ලිතේ  සලකුණු අතර සම්බන්ධය ගැන කිසිම  හැගීමක්  නැති ඇය, ලිතෙන් බලා  අද කුජ තියෙන්නේ සිංහ ලග්නයේ හෝ වෙන  යම් ලග්නයක යනාදී ලෙස පිළිතුරු දීමට ආසාවෙන් ඉදිරිපත් වුනාය.  නිතර කෙරෙන මෙවැනි කතා බහ තුලින් මට මගේ තාරාකා  විද්‍යා ලෝකයේ ඉදීමටත්  ඇයට ඇගේ නක්ෂත්‍ර ලෝකයේ සිටීමටත් හැකි වන අයුරේ  සන්හිදියාවක ට එළඹීමට අපට හැකි වුනා යයි මම සිතමි.  

අම්මා අද අප අතර නැත. එදා ඇගේ හා ඇයගේ පරම්පරාවේ අයගේ නක්ෂත්‍ර උනන්දුව නිසා අපේ වැඩ කටයුතු වලට ලොකු බාදාවක්  වුනේ  නැත. ගෙදරින් පිටත් වීමට සෑම විටම හොඳ වෙලාවක් හදා දෙන අම්මා ඉදලා හිට “අද දවස නම් හොදම නෑ, ඇයි  අදත් ඉඳලම යන්නේ නැත්තේ” කියා කිව්වොත්  එවැන්නකට  ඇහුම් කම් දීමේ හැකියාවක් ඒ දින වල තිබුණි. අද තත්වය ඊට වෙනස්ය.

අද  කාටත් විවේකය අඩුය. අනික් අතින් කියනවා නම් කාලයට වැඩි වටිනාකමක් ඇත. සමාජයක් හැටියට අපගේ ඵලදායී තාවය එදාට වඩා වැඩිය. එම නිසාම එදා ගම් වල අන්ත දුගී තත්වයේ සිටි අය අද එතැන නැත. උදාහරණ ලෙස, ප්‍රභූ කමේ සංකේතයක් වූ ටෙලිෆෝනය අතේ නැති කෙනෙක්  අද සොයා ගන්නට නැත. නමුත් අපට යා යුතු දුර බොහෝය. දුර්මත හා මිත්‍යා විශ්වාස නිසා තවමත් අපේ ජනතාව මන්ද ගාමී වෙති. ඒ ගැන වෙනම ලිපියක් නොව දහයක් ලිවිය හැක. එක උදාහරණයක් ගනිමු. මගුල් තුලා, ගෙට ගෙවදීම් මේ කෝකටත් සුදුසු වෙලාව කාටත් නිවාඩු වෙලාවයි. නමුත් නැකත් වලට නිවාඩු නොනිවාඩු අදාළ නැත. ඒ නිසාම මගුල් නැකත් දවසකට රජයේ කාර්යාලය වැඩක් කර ගැනීම බොරුය. පුද්ගලික ආයතන වලින්ද අද අහවලාට මගුල් ගෙයක් කියා වැඩ පරක්කු වීමට හේතු නිතරම අහන්නට ලැබේ.  

නක්ෂත්‍ර මුලාවෙන් අප සමාජය මුදවා ගැනීමේ අරමුණෙන් පර්යේෂණාත්මක ප්‍රවේශයක් යෝජනා කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණික අමාත්‍යංශයට  උපදෙස් දුන්  නස්ටෙක් ආයතනය අධිපති මහාචාර්ය තන්තිරිගොඩ ඇතුළු ප්‍රවීන විද්‍යාඥයන්ට අපි සැම  පින් දිය යුත්තේ එම නිසාය.

NASTEC (නස්ටෙක්) යනු  National Science and Technology Council හෝ ජාතික විද්‍යා හා තාක්ෂණ කවුන්සිලයයි.

 

සුජාතා ගමගේ

Advertisements